දං බෝවිටියා කැලේ .. මැදින්.. එන්න සිතයි නුඹ ලගට සැනින්

මේ සිද්ධිය වෙනකොට මම දෙක වසරේ හරි තුන වසරේ හරි වෙන්න ඇති. එදා මම උණ හැදිලා නින්ද යන්නේ නැතිව අමාරුවෙන් නැගිටලා හිටපු දවසක්. පොඩි කාලේ අපිට නින්ද යනකම් කථා කියන්නේ තාත්තා. අපේ තාත්තා කියන කතන්දර මම වෙන කොහෙදිවත් අහල නැහැ. එදත් වෙනද වගේම තාත්තා කතන්දර කිවුවා කිවුවා ඒත් නින්ද මන් අහලකටවත් අවේ නැහැ.

අන්තිමට තාත්ත දන්න කතන්දර ඔක්කොම ඉවර වෙලාද  කොහෙද තාත්ත කිවුව මම අද ඔයාට සින්දුවක තියන කතන්දරයක් කියන්නම් කියල. එහෙම කියල කියන්න ගත්ත කතන්දරේ තමයි මේ තරම් කාලෙකට මම අහපු අමතක නොවෙනම කතන්දරේ. තාත්තා කතන්දරේ ටිකක් කියනවා. ඊට පස්සේ ඒකට අදාල සින්දුවේ කොටස ගයනවා. ඔන්න එහෙනම් ඒ කතන්දරේ තාත්තා කියපු විදිහටම.

 

මේ කතාව පොඩි සාදු කෙනෙක් ගැනයි. ඒකාලේ පොඩි ළමයි මහන කරවන්නේ ඒ පිනෙන් සතර වරිගයටම නිවන් දකින්න පුළුවන් කියල විශ්වාශයක් තිබ්බ නිසාලු. එපාර මට තිබ්බ ප්‍රශ්න තමයි සතර වරිගය කියන්නේ මොකද්ද කියලයි, නිවන් දකිනවා කියල කියන්නේ මොකද්ද කියලයි. තාත්තනම් කිවුවේ සතර වරිගේ කියන්නේ අම්මගේ අම්මගේ නෑදෑයොයි අම්මගේ තාත්තගේ නෑදෑයොයි තාත්තගේ අම්මගේ නෑදෑයොයි තාත්තගේ තාත්තගේ නෑදෑයොයි කියලයි. නිවන් දකිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවිතේ ඔක්කොම දුක ඉවර කරලා ආයිත් උපදින්නේ නැතිවෙන එකට කියල තමයි තාත්ත කිවුවේ.

 

ඔන්න පොඩි සාදු බෝමළුව අතුගාන කොට මල් ආසනේ මල් සුවද එනකොට අම්මගේ කිරිසුවද මතක් වෙන්න ගත්තලු. ඒ එක්කම ගෙදරයි සෙල්ලම් පිට්ටනියයි මතක් වෙලා අම්ම හොයාගෙන ගෙදර යන්න හිතුනලු

 

“බෝ මලුවෙ මල් සුවදක පැටලි

අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..

සුපුරුදු උණුසුමකට සිත ඈදි

ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..

දං බෝවිටියා කැලේ .. මැදින්..

එන්න සිතයි නුඹ ලගට සැනින්…”

 

ඒක කියන කොටම මම අඩන්න ගත්තා.

 

ඉතින් පොඩි සාදු හිතනවලු අනේ අම්මේ මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්, ඒත් ඒ අතරේ චුට්ටකට යාලුවෝ එක්ක සෙල්ලන් කරලා එන්නද කියලා. එහෙම හිතපු ගමන්ම ආයිත් හිතුනලු, ඒත් එහෙම කරන්නේ කොහොමද යාලුවෝ ඔක්කොම පිටනියට ගිය ගමන් පොඩි සාදු කිය කිය වදින්න එනවනේ. ඉතින් සෙල්ලම් කරන්නේ කොහොමද.

 

“එතෙර කරන්නම් හතර වරිගයම

සංසාරේ යන මේ ගමනේ

චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද

පුරුදු යහලුවන් හා සැනෙනී

එහෙම ගියත් ඒ අය පොඩි සාදු

කියා කියන විට වැද වැටිලා

කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ

වෙල් ඉපනැල්ලේ පැන නටලා”

 

ඉතින් මම උපදින හැම ආත්මයේම පෙරුම් පුරලා පෙරුම් පුරලා දවසක මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්.ඊට පස්සේ ඇවිත් මම අම්මගේ තුරුලට වෙලා ඉන්නවා. ඒත් අම්මේ එහෙම කරන්නේ කොහොමද එතකොට අම්මත් සංසාරෙන් එතෙර වෙලානේ.

 

“භවයෙන් භවයේ පෙරුම් පුරා මම

භවුන් වඩා උපදින වාරේ

දිනයක මතුදා හතර වර්ගයම

එතෙර කරන්නම් සංසාරෙන්

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග

ඉන්නම් කිරි සුවදේ එතිලා

කොහොමද අම්මේ එහෙම කරන්නේ

අම්මත් සසරෙන් එතෙර වෙලා ..”

 

මේක කියපු ගමන් මට දැනුණ කම්පනය මේ සින්දුව අහන අහන වාරයක් ගානේ තාමත් දැනෙනවා. මේක තමයි මගේ පොඩිකාලේ මම ආසම සින්දුව. අදත් මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් එන්නේ සින්දුවේ කතාවටත් වඩා  අම්මල තාත්තල අපිට නින්ද නොයන කම් කීදවසක් මෙහෙම දුක්විදල ඇතිද කියල මතක් වෙලා. අම්මේ තාත්තේ දං බෝවිටියා කැලේ .. මැදින්..එන්න සිතයි නුඹ ලගට සැනින්.

Posted in Uncategorized | Leave a comment

ලොව විශාලතම කොන්ඩෙන්සරය හෙවත් රමණීය සාගර අයිස්

සති කීපයකට පෙර මට යන්නට ලැබුණා මොන්බෙට්සු නගරයට. මොන්බෙට්සු නගරය ජපානයේ උතුරු කෙලවරේම පිහිටි නගරයක්. මෙය ශීත සෘතුවේ මුහුද පවා මිදෙන තරමට සීතල  පැත්තක්. මගේ පර්යේෂණ කණ්ඩායමේ තේමාව ආක්ටික් මුහුදු අයිස්. මෙනිසා අපිට යන්නට ලැබෙන බොහොමයක් පර්යේෂණ සමුළු පැවැත්වෙන්නේ ඉතාමත් සීතල නගර වලයි. අපේ මහාචාර්යතුමා ඇතුළු කණ්ඩායම සෑම වසරකම මොන්බෙට්සු සමුළුවට එනවා. මේ මාගේ පලවෙනි අත්දැකීමයි. සමුළුවේ නම “ඔහොට්ස්ක් මුහුද හා සාගර අයිස්” ඔහොට්ස්ක් මුහුද යනු ජපානයේ උතුරු කෙලවර හා රුසියාව අතර පිහිටි මුහුදයි.

 
මේ මා එහිදී ගත් ඡයාරුප එකතුවක් 

මේ රූපය ගත්තේ අහස්යානය ඔන්බෙට්සු වලින් ගොඩබහින විටමයි. මන්තිරුව හිමෙන් යටවී තිබුනිසා එදා යානය නැවත හරවාගෙන යන්නට ඉඩ ඇතැයි අනතුරු ඇඟවිමකුත් සමගයි අපි පියාසර කලේ.

මේ මිදුණු ඔහොට්ස්ක් මුහුදයි. ප්‍රථම වතාවට මම මිදුණු මුහුදක් දුටුවේ මෙහෙදියි.

අදහා ගන්නටත් බැරි උනත් මේ මහා සීතලේ මේ කෙනා අර පහල රුපයේ සිටින  මාළුවා අල්ලන්න මුහුදට බැහැලා 

මුහුදු අයිස් ආශ්‍රයේ ජීවත්වන ක්ලේඔන් මාලු විශේෂය 
 
සීතල උත්සන්න නමුත් බෙහෙවින්ම සුන්දරයි.
 
ලොවේ සෑම දෙයක්ම තනි පැහැයක් නම් මම තෝරාගන්නේ සුදු. එහි අනිත් සැම පැහැයක්ම ගැබ් වෙලා තියෙනවා වගේම එය ඉතාමත්ම සුන්දරයි.
 

 
මා ගමන් කල ගරිනිකෝ නමැති අයිස් බ්‍රේකර් නෞකාව 
 

 මේ මුහුදු අයිස් සෑදෙමින්  පවතින අවස්ථාව. මේ අයිස් හඳුන්නන්නේ පෑන්කේක් අයිස් නමිනුයි

මුහුදු අයිස් හා මුහුදේ මායිම 

 

මුහුදු අයිස් වල අලංකාර ලා නිල් පැහැයක් තිබුණා 

ගරින්කෝ නෞකාවේ යන අතරතුරේ මා සිමියුලේට් කරන අලංකාර මුහුදු අයිස් සමග 
 
මුහුදු අයිස් කියන්නේ ලොවේ තිබෙන ඉතාමත්ම සුන්දර දේවල් වලින් එකක්. සුන්දරත්වයටත් වැඩ එය මුළු ලෝකයේම තිබෙන විශාලතම කොන්ඩෙන්සරය ලෙසත් කටයුතු කරනවා. 
 
නැවතත් ලියනකම් අදට සමුගන්නවා 
Posted in Uncategorized | Leave a comment

ආයුබෝවේවා!

ආයුබෝවේවා!
කල සෙත් මුදුන් වේවා!
දෝශ දුරුවෙවා!
තුණු රුවන් හා ශක්‍රමහබඹුගෙ සරණින්
ආයුබෝවේවා!

මේක මම පොඩි කාලෙ අහපු බලියක කොටසක්. මේක යක්කු පන්නන්න කියන බලියක් කියලත් කියනවා. ඒ කොහොම වෙතත් මේක ආශිර්වාද බලියක්. හෙළ සිරිතට ඔන්න ආයුබෝන් කියල පටන් ගත්ත මගේ මුල්ම සිංහල බ්ලොග් එක.

Posted in Uncategorized | Leave a comment