දං බෝවිටියා කැලේ .. මැදින්.. එන්න සිතයි නුඹ ලගට සැනින්

මේ සිද්ධිය වෙනකොට මම දෙක වසරේ හරි තුන වසරේ හරි වෙන්න ඇති. එදා මම උණ හැදිලා නින්ද යන්නේ නැතිව අමාරුවෙන් නැගිටලා හිටපු දවසක්. පොඩි කාලේ අපිට නින්ද යනකම් කථා කියන්නේ තාත්තා. අපේ තාත්තා කියන කතන්දර මම වෙන කොහෙදිවත් අහල නැහැ. එදත් වෙනද වගේම තාත්තා කතන්දර කිවුවා කිවුවා ඒත් නින්ද මන් අහලකටවත් අවේ නැහැ.

අන්තිමට තාත්ත දන්න කතන්දර ඔක්කොම ඉවර වෙලාද  කොහෙද තාත්ත කිවුව මම අද ඔයාට සින්දුවක තියන කතන්දරයක් කියන්නම් කියල. එහෙම කියල කියන්න ගත්ත කතන්දරේ තමයි මේ තරම් කාලෙකට මම අහපු අමතක නොවෙනම කතන්දරේ. තාත්තා කතන්දරේ ටිකක් කියනවා. ඊට පස්සේ ඒකට අදාල සින්දුවේ කොටස ගයනවා. ඔන්න එහෙනම් ඒ කතන්දරේ තාත්තා කියපු විදිහටම.

 

මේ කතාව පොඩි සාදු කෙනෙක් ගැනයි. ඒකාලේ පොඩි ළමයි මහන කරවන්නේ ඒ පිනෙන් සතර වරිගයටම නිවන් දකින්න පුළුවන් කියල විශ්වාශයක් තිබ්බ නිසාලු. එපාර මට තිබ්බ ප්‍රශ්න තමයි සතර වරිගය කියන්නේ මොකද්ද කියලයි, නිවන් දකිනවා කියල කියන්නේ මොකද්ද කියලයි. තාත්තනම් කිවුවේ සතර වරිගේ කියන්නේ අම්මගේ අම්මගේ නෑදෑයොයි අම්මගේ තාත්තගේ නෑදෑයොයි තාත්තගේ අම්මගේ නෑදෑයොයි තාත්තගේ තාත්තගේ නෑදෑයොයි කියලයි. නිවන් දකිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවිතේ ඔක්කොම දුක ඉවර කරලා ආයිත් උපදින්නේ නැතිවෙන එකට කියල තමයි තාත්ත කිවුවේ.

 

ඔන්න පොඩි සාදු බෝමළුව අතුගාන කොට මල් ආසනේ මල් සුවද එනකොට අම්මගේ කිරිසුවද මතක් වෙන්න ගත්තලු. ඒ එක්කම ගෙදරයි සෙල්ලම් පිට්ටනියයි මතක් වෙලා අම්ම හොයාගෙන ගෙදර යන්න හිතුනලු

 

“බෝ මලුවෙ මල් සුවදක පැටලි

අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..

සුපුරුදු උණුසුමකට සිත ඈදි

ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..

දං බෝවිටියා කැලේ .. මැදින්..

එන්න සිතයි නුඹ ලගට සැනින්…”

 

ඒක කියන කොටම මම අඩන්න ගත්තා.

 

ඉතින් පොඩි සාදු හිතනවලු අනේ අම්මේ මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්, ඒත් ඒ අතරේ චුට්ටකට යාලුවෝ එක්ක සෙල්ලන් කරලා එන්නද කියලා. එහෙම හිතපු ගමන්ම ආයිත් හිතුනලු, ඒත් එහෙම කරන්නේ කොහොමද යාලුවෝ ඔක්කොම පිටනියට ගිය ගමන් පොඩි සාදු කිය කිය වදින්න එනවනේ. ඉතින් සෙල්ලම් කරන්නේ කොහොමද.

 

“එතෙර කරන්නම් හතර වරිගයම

සංසාරේ යන මේ ගමනේ

චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද

පුරුදු යහලුවන් හා සැනෙනී

එහෙම ගියත් ඒ අය පොඩි සාදු

කියා කියන විට වැද වැටිලා

කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ

වෙල් ඉපනැල්ලේ පැන නටලා”

 

ඉතින් මම උපදින හැම ආත්මයේම පෙරුම් පුරලා පෙරුම් පුරලා දවසක මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්.ඊට පස්සේ ඇවිත් මම අම්මගේ තුරුලට වෙලා ඉන්නවා. ඒත් අම්මේ එහෙම කරන්නේ කොහොමද එතකොට අම්මත් සංසාරෙන් එතෙර වෙලානේ.

 

“භවයෙන් භවයේ පෙරුම් පුරා මම

භවුන් වඩා උපදින වාරේ

දිනයක මතුදා හතර වර්ගයම

එතෙර කරන්නම් සංසාරෙන්

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග

ඉන්නම් කිරි සුවදේ එතිලා

කොහොමද අම්මේ එහෙම කරන්නේ

අම්මත් සසරෙන් එතෙර වෙලා ..”

 

මේක කියපු ගමන් මට දැනුණ කම්පනය මේ සින්දුව අහන අහන වාරයක් ගානේ තාමත් දැනෙනවා. මේක තමයි මගේ පොඩිකාලේ මම ආසම සින්දුව. අදත් මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් එන්නේ සින්දුවේ කතාවටත් වඩා  අම්මල තාත්තල අපිට නින්ද නොයන කම් කීදවසක් මෙහෙම දුක්විදල ඇතිද කියල මතක් වෙලා. අම්මේ තාත්තේ දං බෝවිටියා කැලේ .. මැදින්..එන්න සිතයි නුඹ ලගට සැනින්.

Advertisements

About ආගන්තුකාවිය

කිසිවෙකුත් නොවෙමි.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s